Wednesday, December 26, 2012

ප්‍රායෝගික පරිගණක විද්‍යාවේ නව මං පෙත්


සිවිල් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ප්‍රායෝගික විද්‍යාවන් ශත වර්ෂ ගණනාවක සිට මානව සමාජයේ පැවතිණ. අප දැනට අධ්‍යාපනය ලබන්නේ එම විෂයන්හි බටහිර මුහුණුවර වුවත් පෙරදිග රටවල ද චිරාත් කාලයක සිට එම විද්‍යාවන් වෙනත් නම්වලින් හා වෙනත් මුහුණුවරින් සමාජගත වී තිබිණ. (උදා(- ආයුර්වේදය, වාරි තාක්‌ෂණය, .....) එහෙත් පරිගණක විද්‍යාව යනු මුළු ලොවට ම නව විෂයකි. එය සමාජගත වී තවම ශත වර්ෂයක්‌ වත් ගත වී නැත. ඉලෙක්‌ට්‍රොනික විද්‍යාවේ ප්‍රතිඵලයක්‌ ලෙස වැඩිදියුණු වූ එය, නූතන කාර්මික සංවර්ධනයේ ප්‍රධාන ම සංරචකය බවට ද පත් වෙමින් පවතී

.

වර්තමානය වන විට පරිගණකය මිනිස්‌ සමාජයේ සැම අංශයක්‌ ම ආක්‍රමණය කර ඇත. පරිගණක සහාය නොමැති වුව හොත් අද බොහොමයක්‌ ක්‌ෂේත්‍ර අක්‍රිය වනු ඇත. (වෛද්‍ය පරීක්‌ෂණ, සංකීර්ණ සැත්කම්, ගුවන් ගමන්, සන්නිවේදනය, ආරක්‌ෂක කටයුතු....) මෙසේ සමාජගත ව ඇති මේ නව විද්‍යාත්මක දැනුම යම් පමණකින් හෝ ලබා තිබීම නූතන සමාජයේ ඕනෑ ම අයකුට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. මේ ලිපියේ අරමුණ පරිගණක ක්‌ෂේත්‍රයේ ඇති නව ප්‍රවණතා හා පොදු ජනතාවට වැදගත් අංගයන් කිහිපයක්‌ පිළිබඳව පරිගණක විද්‍යාව පිළිබඳ හසළ දැනුමක්‌ නැති සාමාන්‍ය පාඨකයන් හට අවබෝධයක්‌ ලබා දීම ය. අනාගතයේ පරිගණක විද්‍යාව වැඩිදුරට හැදැරීමට අපේක්‌ෂා කරන පාසල් දරුවනට ද සිය අනාගතය පිළිබඳ යම් හෝ සැලසුමක්‌ සකස්‌ කර ගැනීමට ද මෙයින් උපකාරයක්‌ ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

ලොව බොහොමයක්‌ විද්‍යාවන් මෙන් පරිගණක විද්‍යාව ද අධ්‍යයන පහසුව තකා, ශූද්ධ පරිගණක විද්‍යාව හා ව්‍යවහාරික පරිගණක විද්‍යාව යනුවෙන් කොටස්‌ දෙකකට වෙන් කරනු ලැබ ඇත. ශූද්ධ පරිගණක විද්‍යාව යනු පරිගණක විද්‍යාවේ මූලධර්ම හා මූලික සංකල්ප අඩංගු න්‍යායික කොටස ය. ව්‍යවහාරික පරිගණක විද්‍යාව යනු එම මූලධර්ම හා මූලික සංකල්ප යොදාගෙන මිනිසා ගේ නොයෙකුත් අවශ්‍යතා ඉටු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයයි.

පහත සඳහන් වන්නේ වර්තමාන පරිගණක විද්‍යා අධ්‍යයනයේ දී ප්‍රමුඛ වන ව්‍යවහාරික පරිගණක ක්‌ෂේත්‍රයන් කිහිපයක්‌ පිළිබඳ හඳුන්වා දීමකි.

1. කෘත්‍රිම බුද්ධිය හා යාන්ත්‍රික අධ්‍යයනය (Artificial Intelligence & Machine Learning )

ලිපිලේඛන පිළියෙල කිරීම, සංකීර්ණ ගණනය කිරීම් වේගයෙන් නිම කරගැනීම, විනෝදාස්‌වාදය සඳහා ත්‍රිමාන චිත්‍රපට නිපදවීම, කාලගුණ අනාවැකි පළ කිරීම ආදි විවිධ ක්‌ෂේත්‍රයන්ට අදාළ බොහොමයක්‌ මිනිසාට අවශ්‍ය දේ පරිගණකයකින් ඉටු කොට ගත හැකි ය. එහෙත් පරිගණකයට තවම කළ නො හැකි වූ දෙයක්‌ ඇත. ඒ මිනිසා මෙන් සිතීම හා ක්‍රියා කිරීම ය. එනම් ආතර් සී. ක්‌ලාක්‌ මහතා ගේ 2001 විද්‍යා ප්‍රබන්ධයේ එන හල් නැමැති මන(කල්පිත පරිගණකය මෙන් ක්‍රියා කිරීම ය. මීට දශක කිහිපයකට පෙර සිට ම පරිගණක විද්‍යාඥයෝ මෙසේ කෘත්‍රිම බුද්ධියක්‌ බිහි කිරීමට වෙහෙස වූ හ. එම ප්‍රයත්නයන් දෙයාකාර වේ.

එක්‌ ආකාරයක්‌ වූයේ මිනිසා විසින් සිය සිතීමේ හැකියාවේ හා බුද්ධියේ ප්‍රතිඵලයක්‌ ලෙස සිදු කරනු ලබන විශේෂ ක්‍රියාවන් වෙන වෙන ම පරිගණක මගින් සිදු කිරීම ය. චෙස්‌ ක්‍රීඩා කිරීම, මිනිස්‌ කටහ`ඩ වටහා ගැනීම, ඡායාරූපයක්‌ දුන් විට එහි සිටින පුද්ගලයන් හඳුනා ගැනීම ආදි හැකියාවන් ඇති මෘදුකාංග බිහි වූයේ එම ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක්‌ ලෙසින් ය. එහෙත් එය පුළුල් ලෙස පරිගණකය මිනිsසකු ලෙස හැසීරීමක්‌ සේ සැලකිය නො හැකි ය. එය හුදු මිනිසා විසින් සිය මනස උපකාරයෙන් කරනු ලබන දහසකුත් එකක්‌ ක්‍රියාවන් ගෙන් එකක්‌ පමණක්‌ කිරීමට හැකි, එම ක්‍රියාකාරකම සඳහා ම සුවිශේෂ වූ මෘදුකාංගයක්‌ නිපදවීමක්‌ පමණි. ඒ එක්‌ එක්‌ කාර්යයන් පරිගණකය ඔස්‌සේ ඉටු කර ගැනීම සඳහා නොයෙකුත් න්‍යායන් හා ක්‍රමවේදයන් මිනිසා විසින් සොයාගනු ලැබ ඇත.

අනෙක්‌ ආකාරය වූයේ අනුමාන වශයෙන් ම මිනිස්‌ මොළය ක්‍රියා කරන ආකාරය මෘදුකාංග පද්ධතිය මගින් නිරූපණය කිරීම ය. මෙහි දී පරිගණක විද්‍යාඥයන් ගේ ඉලක්‌කය වන්නේ තර්කනය, සාමාන්‍ය ගැටලු විසඳීම, ස්‌වයං අධ්‍යයනය, භාෂා අවබෝධය, සැලසුම් සකස්‌ කිරීම, නිර්මාණශීලීත්වය ආදී මිනිසාට පමණක්‌ ඇති හැකියාවන් පරිගණකයට ද ලබා දීම ය. මේ ඉලක්‌ක සපුරා ගැනීම සඳහා, මිනිසා ගේ මොළයේ සංයුතිය, ස්‌නායු පද්ධතියේ හා ස්‌නායු සෛලවල ව්‍යqහය සියුම්ව අධ්‍යයනය කොට ඒවායේ ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරිත්වයක්‌ ඇති පරිගණක මෘදුකාංග කොටස්‌ නිපදවා ඇත. එබඳු ස්‌නායු සෛලයකට සමාන මෘදුකාංග විශාල ප්‍රමාණයක්‌ එකිනෙක සම්බන්ධ කොට ජාලගත කිරීමෙන් කෘත්‍රිම ස්‌නායු සෛල ජාලයක්‌ නිපදවිය හැකි ය. අනතුරුව එය, යම් සංකීර්ණ ප්‍රදානයන් සමූහයක්‌ ලබා දුන් විට ඊට අනුකූල සංකීර්ණ ප්‍රතිදානයක්‌ ලබා දෙන කෘත්‍රිම මොළයක්‌ ලෙස සැලකිය හැකි ය. කුඩා දරුවකු සිය පරිසරය හා වැඩිහිටියන් ඔස්‌සේ ක්‍රමයෙන් නොයෙක්‌ දේ ඉගෙන ගෙන සිය බුද්ධිය හා දැනුම සංවර්ධනය කරගන්නා අයුරින් මේ මෘදුකාංගමය කෘත්‍රිම මොළයට ද යම් විෂයකට අනුකූලව ප්‍රදාන සමූහයක්‌ ලබා දී ඊට අදාළ නිවැරැදි ප්‍රතිදානයන් ද පෙන්වා දීමෙන් එම විෂය සඳහා විශේෂ වූ කෘත්‍රිම බුද්ධියක්‌ ජනනය කළ හැකි ය. එම දැනුම හා බුද්ධිය එම මෘදුකාංග පද්ධතිය තුළ ගබඩා වේ. මෙසේ එබඳු කෘත්‍රිම ස්‌නායු ජාලයකට දැනුම ලබා දී බුද්ධියක්‌ ජනනය කිරීමේ ක්‍රියාවලිය එම කෘත්‍රිම ස්‌නායු සෛල ජාලය "පුහුණු කිරීම" යනුවෙන් හඳුන්වනු ලැබේ.

මෙලෙස නියම ආකාරයෙන් පුහුණු කරන ලද කෘත්‍රිම ස්‌නායු පද්ධතියක්‌ ප්‍රාථමික මට්‌ටමින් මිනිස්‌ මොළයකට ආසන්න ක්‍රියාකාරිත්වයක්‌ දක්‌වයි. එහෙත් එහි ධාරිතාව හෙවත් බුද්ධි මට්‌ටම වර්තමාන පරිගණක තාක්‌ෂණය උපරිමයට ම යොදාගත්ත ද මිනිස්‌ මොළයකට ආසන්න වී නැත.

යාන්ත්‍රික අධ්‍යයනය ද මීට සම්බන්ධ විෂයයකි. එහි දී පරිගණකයක්‌ යම් කාර්යයක්‌ සඳහා විශේෂයෙන් ක්‍රමලේඛනය නො කොට එම කාර්යයට අදාළ දැනුම තොරතුරු උකහා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට සලස්‌වනු ලැබේ. උදාහරණයක්‌ ලෙස විවිධාකාර කාලගුණ දත්ත සමූහයක්‌ පරිගණකයකට ලබා දුන් විට, හෙට දිනයේ කාලගුණය පිළිබඳව අනාවැකියක්‌ පළ කිරීමට හැකියාවක්‌ මින් ලැබෙනු ඇත. එහි දී එක්‌ එක්‌ දර්ශකයන් කාලගුණය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ දැයි යන දැනුම පරිගණකයට ලබා දී නැත. එහෙත් පරිගණකය විසින් ම ඒ එක්‌ එක්‌ දර්ශකයන් කාලගුණික සාධක වෙත බලපාන්නේ කෙසේ දැයි ස්‌වයං අධ්‍යයනයක්‌ කරනු ලැබේ. එසේ ස්‌වයං අධ්‍යයනයන් කිරීමේ ක්‍රමවේද ගණනාවක්‌ පරිගණක විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත. ඒවා වැඩි දියුණු කිරීමත්, අවස්‌ථාවන්හි දී යොදා ගැනීමත් වර්තමානයේ මේ ක්‌ෂේත්‍රයට අදාළ කටයුතු ය.

2. ජීව තොරතුරු විද්‍යාව (Bio - informatics)

ජීව තොරතුරු විද්‍යාව යනු පරිගණක ඇසුරින් ජීව විද්‍යාත්මක තොරතුරු උකහා ගැනීම, ගබඩා කිරීම හා අධ්‍යයනය පිළිබඳ වූ විද්‍යාවකි. මෙහි දී ජීව විද්‍යාත්මක තොරතුරු ලෙස අදහස්‌ වන්නේ ජීවීන් ගේ ජානගත තොරතුරු, ප්‍රොටීන දාමයන්හි හැඩයන් හා හැසිරීම්, ජාන හුවමාරු වීමේ ක්‍රමවේද, සෛලවල ක්‍රියාකාරිත්වය ආදී කරුණු ය.

මෙහි එක්‌ අංශයක්‌ වන්නේ පරිගණක මෘදුකාංග මගින් මේ විෂයට අදාළ පරිසරයන් හා ක්‍රියාවලීන් නිරූපණය කිරීම ය. එම කටයුත්ත සාර්ථක නම් එම අතථ්‍ය පරිසරය තුළ සිදු වන දේ සැබෑ පරිසරය තුළ සිදු වන දෙයට බොහෝ දුරට සමාන වේ. එම නිසා පරිසරයේ සිදු වන වෙනස්‌කම් නිරීක්‌ෂණය කිරීමෙන් සැබෑ ලෝකයේ දී සිදු වන දේ පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත හැකි ය.

උදාහරණයක්‌ ලෙස පිළිකා සෛලයකට යම් රසායනික සංයෝගයක්‌ ඇතුළු වූ විට ඒ තුළ සිදු වන දෙය හා එබඳු සෛල විශාල ප්‍රමාණයක්‌ ඇති තැනක දී සිදු වන දෙය සත්‍ය ලෝකය තුළ පරීක්‌ෂණයක්‌ කර දැන ගැනීම ඉතා අසීරු මෙන්ම විශාල වශයෙන් කාලය හා මුදල් වැය වන කටයුත්තකි. එබඳු දෙයක්‌ එක්‌ අංශූමය ක්‍රියාවක්‌ නො ව, හේතු ඵල වශයෙන් සම්බන්ධ වන ක්‍රියාදාමයකි. එය නොයෙක්‌ බාහිර සාධක වෙනස්‌ වන විට වෙනස්‌ වීමට ද ඉඩ ඇත. එම ක්‍රියාදාමය සැබෑ ලොව තුළ සිදු වීමට බොහෝ කාලයක්‌ ගත වනු ඇත. එහෙත් පරිගණක මෘදුකාංග මගින් අතථ්‍ය පරිසරයක්‌ නිපදවා ඒ තුළ එම පරීක්‌ෂණය විවිධ බාහිර සාධක යටතේ බොහෝ වාරයක්‌ සිදු කිරීමට වැය වන්නේ කෙටි කාලයක්‌ හා සුළු මුදලකි. එමෙන් ම එය පහසු ක්‍රියාවලියකි. එනිසා විවිධ ඖෂධ වර්ග හා ප්‍රතිජීවක වර්ග ආදිය නිර්මාණය කිරීමේ දී මේ ජීව තොරතුරු විද්‍යාව බොහෝ උපකාර වේ.

3. පරිගණක - මිනිස්‌ අන්තර්ක්‍රියා (Human - Computer interaction)

පරිගණකය බිහි වූ මුල් අවධියේ පරිගණකයට මිනිසා ප්‍රදානයක්‌ ලබා දුන්නේ සිදුරු කරන ලද කාඩ්බෝඩ් කැබැලි ආධාරයෙනි. පරිගණකයෙන් නැවත මිනිසා වෙත ප්‍රතිදානයක්‌ ලැබුණේ ද කඩදාසි මාධ්‍යයෙනි. වර්තමානයේ ස්‌පර්ශ සංවේදී තිර හා ත්‍රිමාන නිර්මාණකරණ උපකරණ භාවිත කරන ඔබට මෙය සිතාගැනීමටවත් අපහසු තත්ත්වයක්‌ විය හැකි ය. එදා එලෙස ප්‍රාථමික තත්ත්වයේ තිබූ පරිගණකය හා මිනිසා අතර සම්බන්ධතාව අද ඔබ අත්දකින තත්ත්වයට ගෙන ආවේ පරිගණක - මිනිස්‌ අන්තර්ක්‍රියා පිළිබඳ විද්‍යාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

වර්තමානයේ මේ අංශයේ, ත්‍රිමාන තිර, ත්‍රිමාන මූසික, ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර ආදී දෘඪාංග මෙන්ම මිනිස්‌ කටහ`ඩින් දෙන විධානයන්ට ක්‍රියා කිරීම, මිනිසා ගේ ඇසින්, හිසින් හා දැත් මගින් දෙන සංඥා අවබෝධ කර ගැනීම වැනි හැකියාවන් ඇති මෘදුකාංග නිපදවීම සම්බන්ධ කටයුතු කෙරේ. එබඳු නිර්මාණයන් සිදු කරද්දී පරිගණක භාවිත කරන්නන් ගේ සිතුම් පැතුම් නිවැරැදිව අවබෝධ කරගැනීමට අවශ්‍ය වන නිසා මනෝ විද්‍යාව හා සමාජ විද්‍යාව ආදී තාක්‌ෂණික නො වන විෂයයන් පිළිබඳ දැනුම ද මෙහි දී අත්‍යවශ්‍ය වේ.

අතථ්‍ය පරිසරයන් නිර්මාණය කොට ඒ ඇසුරින් ත්‍රිමාන හා ද්විමාන කාටූන් චිත්‍රපට නිර්මාණය හා සාමාන්‍ය චිත්‍රපටවල ඇති දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණයට ද මේ විෂයට අදාළව නිපදවන ලද මෘදුකාංග හා දෘඪාංග යොදා ගනු ලැබේ.

4. පරිගණක ආරක්‌ෂක පද්ධති (Computer Security)

පරිගණක මිනිස්‌ සමාජයේ සැම අංශයක්‌ ම ආක්‍රමණය කිරීම නිසා මිනිසුන් ගේ තොරතුරු බොහොමයක්‌ මේ පරිගණක පද්ධතීන් තුළ ගබඩා වී ඇත. එමෙන් ම එම පරිගණක පද්ධතීන්හි නිවැරැදි ක්‍රියාකාරිත්වය මත යෑපෙන තවත් බොහොමයක්‌ ක්‍රියාවලීන් ඇත. උදාහරණයක්‌ ලෙස සන්නිවේදන චන්ද්‍රිකා හසුරුවන මෙහෙයුම් පද්ධතිය නිවැරැදිව ක්‍රියාත්මක නො වුණ හොත් සන්නිවේදන දුෂ්කරතා, ජී.පී.එස්‌. තාක්‌ෂණය මත පදනම් වන අවි ආයුධ ආදිය ව්‍යාකූල ලෙස හැසිරීම වැනි ඉතා භයානක තත්ත්වයන් ඇති විය හැකි ය. එනිසා සමහර පරිගණක පද්ධතීන් තුළ ඇති දත්ත ආරක්‌ෂා කර ගැනීම හා එම පද්ධතීන් ගේ ක්‍රියාකාරීත්වය නිවැරැදිව පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය තත්ත්වයන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා පරිගණක පද්ධතීන්හි ආරක්‌ෂාව පිළිබඳව කෙරෙන අධ්‍යයන හා නව සොයා ගැනීම් වර්තමානයේ ඉතා වැදගත් වේ.

මේ විෂය පථය බොහෝ දෙනා දන්නා පරිගණක වයිරස සඳහා ප්‍රතිකර්ම නිපදවීමේ ක්‍රියාවලියට වඩා බොහෝ පුළුල් වේ. තොරතුරු සොරා ගැනීම, තොරතුරු විකෘති කිරීම, වංචා හා රැවටීම්, පරිගණක පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය අඩාළ කිරීම ආදී නොයෙක්‌ ආකාරයේ පරිගණක අපරාධවලට ඔරොත්තු දෙන තත්ත්වයන්ට පරිගණක පද්ධතියක්‌ කිරීම මේ විෂයේ පුළුල් පරමාර්ථයයි.

5. තොරතුරු විද්‍යාව (Information Science)

පෙර කී පරිදි ම පරිගණකය මිනිස්‌ සමාජයේ සැම අංශයක ම පැතිර ඇති නිසා, පරිගණක ජාලගත ව ඇති දැවැන්ත දත්ත ප්‍රමාණයක්‌ ගබඩා වී ඇත. මේ දත්ත අප ගේ ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. මෙහි දී සංඛ්‍යානය හා ගණිතය බොහෝ ප්‍රයෝජනවත් වේ. දස අත විසිරුණු මේ දැවැන්ත දත්ත ගබඩාවල අඩංගු දත්ත එකතු කිරීම, ගබඩා කිරීම, විශ්ලේෂණය කිරීම, වර්ග කිරීම, ඒවා ඇසුරින් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු උකහා ගැනීම ආදිය මේ විෂයට ඇති අභියෝගයි.

6. ව්‍යාප්ත පද්ධති (Distributed Systems)

මීට දශක කිහිපයකට පෙර බැංකු, කොටස්‌ වෙළෙඳපොළ ආදී විශාල මූල්‍ය ආයතනවල මෘදුකාංග පද්ධතීන් ක්‍රියාත්මක වූයේ ඉතා මිල අධික සුපිරි පරිගණක යන්ත්‍ර තුළ ය. ඒවා පිළිබඳ දැනුම හා අත්දැකීම් සහිත පුද්ගලයන් ද සීමිත විය. එනිසා එබඳු පද්ධතීන් පවත්වා ගැනීම ඉතා මිල අධික කටයුත්තක්‌ විය. එහෙත් වර්තමානයේ මෙබඳු විශාල පද්ධතීන් සමන්විත වන්නේ එක්‌ විශාල සුපිරි පරිගණකයන් වෙනුවට සාමාන්‍ය පරිගණක රැසක ගේ එකතුවකිනි.

මේ පරිගණක ජාලය තුළ ඇති සැම පරිගණකයක ම හැකියාවන් (CPU සහ Memory) එක්‌ වීමෙන් සම්පූර්ණ පද්ධතිය ක්‍රියාත්මක වේ. මෙබඳු පද්ධතීන් තුළ ක්‍රියා කිරීමට එම මෘදුකාංග ද විශේෂ ආකාරයකට නිර්මාණය කළ යුතු ය. මෙහි දී ජය ගැනීමට ඇති අභියෝගය නම්, විශාල පරිගණක පද්ධතීන් රැසක්‌ ජාලගත කිරීමේ දී ඇති වන කාර්මික ගැටලු විස`දීම හා උපරිම කාර්යක්‌ෂ්මතාවක්‌ ලැබෙන පරිදි මේ පරිගණක තුළ වෙන වෙන ම ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහන් එකිනෙක සහයෝගයෙන් ක්‍රියා කරවීම ය.

ඉහත සඳහන් වූයේ වර්තමානයේ තරමක්‌ වැදගත් වන ව්‍යවහාරික පරිගණක විද්‍යා අංශ කීපයක්‌ පමණි. මීට අමතරව ඉතා ශීඝ්‍රයෙන් දියුණු වන බොහෝ ක්‍රියාකාරකම් සිදු වන පරිගණක විද්‍යා ක්‌ෂේත්‍ර ගණනාවක්‌ වේ. තවම නව යොවුන් අවධියේ පවතින පරිගණක විද්‍යාව යා යුතු දුර බොහෝ ය. දිනෙන් දින තව තවත් මෙබඳු විෂය ක්‌ෂේත්‍රයන් මීට එක්‌ වනු ඇත.

1 comment:

  1. Ela!
    mehema ewath digatama liyanna. godak watinawa apita.

    ReplyDelete