Tuesday, August 16, 2016

සංහිදියාවේ ඇත්ත කතාව මෙන්න..

   අද අප ජීවත් වන්නේ ඇත්ත වශයෙන්ම දැනට වසර කිහිපයකට වඩා කලින් තිබු ශ්‍රී ලංකාවේ නොවේ.කොටින්ම කිව හොත් මෙය ලියන මමත් මෙය කියවන ඔබත් මේ ගෙවන්නේ ජීවිත කාලයට අමතරව ලැබුන "බෝනස්" ජීවිත කාලයයි.තිස් වසරක් මෙරට සියලු ජනයා වෙත මරණ වරෙන්තු නිකුත් කර තිබු ඒ මිලේචච ත්‍රස්තවාදය නිමකර අපට සියලු ජාතින් හා එකාවන්ව ජීවත් වීමට වාසනාව ලැබුනේ පෙර කල පිනකට විය යුතුය..එදා මෙරට තිබුනේ ජාතින් අතර අරගලයක් නොව ත්‍රස්තවාදී අන්තවාදී අරගලයකි.

එම කාලය ගෙවී වසර කිහියක් ගතවෙන්නට මත්තෙන් බොහොමයක් දෙනාට ඒ අමිහිරි මතකය අමතක වීම සැබවින්ම පුදුමයකි.ලෝකයේ ඕනෑම රටක් එකම රටක් නැතිනම් ඒකීය රටක් ලෙස පැවතුන හොත් එම රට ඉතා ප්‍රභල ලෙස නැගී එන රාජ්‍යක් බවට පත්වන බව අපට ඉතිසාය හැදෑරීමෙන් දැන ගත හැක.නිදසුනක් ලෙස කුඩා කෝටු වලින් යුතු දර මිටියක් ගැන සිතා බලන්න.එය එකවර අල්ලා පහසුවෙන් කඩා දැමිය නොහැක.නමුත් එහි දර කෝටු එකින් එක වෙන් කලවිට පහසුවෙන්ම කඩා දැමිය හැක.
ගෙවුන සියවස් ගණනාවක දුර සිතා බැලු විට අප රට දෙස කෑදර කමින් බලා සිටින විදේශීය රාජ්‍ය ඔබ දැක ඇත.ඇතැම් විදේශීය රාජ්‍ය වල ප්‍රතිපත්තිය වන්නේ සාම කාමීව පවතින රටවල් වලට බොරු චෝදනා කර එම රටවල් භේද භින්න කර සමගිය නැතිකර රට කොටස් කීපයකට කඩා වියවුල් කිරීමය.ඔවුන් එසේ කරන්නේ ඇයි?වෙනත් රටවල් දියුණු වී ඔවුන්ට වඩා ආර්ථික අතින් ඉහල ගියහොත් ඔවුන්ට එම රටවල් වල පිහිට පතන්නට සිදුවේ.එය ඔවුනට මදිකමකි.අපට මෙලෙස මෙය සරලව පෙනුනත් ලොව පුරා රටවල් අතර ඇත්තේ මහා ආර්ථික යුද්ධයකි.
යුද්ධය අවසන් කර ඉතා සාම කාමී රටක ජීවත් වීමට වාසනාව අප ලැබුවත් එය කොතෙක් දුරට පවතීද යන්න දැන් දැන් සැක මතු වෙමින් තිබේ..විදේශීය කුමන්ත්‍රණ කරුවන් කුමක් හෝ ගුලියක් අබරා අපට වින කටින්නට බලා සිටින ඕනෑම කුඩා දරුවකුට වුවද දැන් තේරෙන සත්‍යකි.ඔවුන්ට අප රට කෙරෙහි ඇත්තේ අපේ අම්මාට අප කෙරෙහි ඇති ආදරයටත් වඩා ආදරයකි.වසර තිහක ලෝකයට හිසරදයක් ව තිබු ලොව දෙවන බලගතු හමුදාවට වත් මෙල්ල කල නොහැකි වූ ඒ ත්‍රස්තවාදය අප විසින් නිමා කළා නම්..ඔවුන්ගේ උපදෙස් තවත් කුමටද..එවන් ජයග්‍රහණයක් ලද අප වෙනත් රටවල් ඉදිරි පිට දනින් වැටිය යුතු නොවේ.හරිනම් ඔවුන් උපදෙස් ලබා ගතයුත්තේ අපෙනි.අප නිමා කලේ හුදු ත්‍රස්තවාදී සටනක් මිස වෙනත් ජනතාවකට හෝ ජාතියක ආදාලව නොවේ.අප මතක තබා ගතයුතු වැදගත්ම කරුණ වන්නේ එම ත්‍රස්තවාදය මගින් තම අතමිට සරු කර ගත් විදේශීය රාජ්‍ය පැවති බව පමණි.ත්‍රස්තවාදය මගින් මෙරට කිසිදු ජන කොට්ටාශයකට ඇති වූ සෙතක් නැත.
අපට ආදරෙන් සංහිදියාව කියා දෙන්නට එන රටවල් වල සැබෑ සංහිදියාව තිබේද..ඇමරිකාව තුල කළු සුදු බේදය උග්‍ර ලෙස තිබේ.එහෙත් මෙරට එවන් දේ තිබේද..ඔබ පිටකොටුවට ගොස් ද්‍රවිඩ කඩ සාප්පුවකින් යමක් මිලට ගන්න ගිය විට අපට කිසි දිනක වරදක් වී තිබේද?පිටකොටුවේ මුස්ලිම් අයකුගෙන් පාරක් කඩයක් ඇති තැනක් ඇසු විමසු විට එය තිබෙන තැන ට ගොස් පෙන්වීමට තරම් ඔහු ඔබට කාරුනික වෙති.මෙරට සිංහල දෙමල මුස්ලිම් හෝ වෙනත් ජාති වලින් මිනිසුන් සිටියත් වැඩ ලෝකයේ දී අප එකම ජාතියකි.ජාතිකත්වය හිත දරා ගෙන සිටින්නේ දේශපාලකයන්ය නැතිනම් අන්ත වාදීන්ය..සාමානය ජනතාව අතර අමුතුවෙන් පිට රටින් ගෙනවුත් අමුතු සංහිදියාව ඇති කල යුතු නැත.සංහිදියාව ගැන ප්‍රශ්න ඇත්තේ සාමානය ජනතාවට නොව තම බලය රැක ගැනීමට කෑදර කමින් තොලකට ලෙව කන දේශපාලකයන්ට පමණි.මෙරට ජනතාව අතර සංහිදියාව ඇති කලයුතු බව පවසන්නේ එබඳු බල ලෝභී ඉතා පහත් තලයේ කිහිප දෙනෙකු පමණි.මෙරට ජනයා අතර සැබෑ සංහිදියාව ඇතිවුයේ ලේ පිපාසිත ත්‍රස්තවාදය නිමා කල දිනය."බෝනස් "ජීවිත කාලයක් ගෙවමින් සිටින මෙරට සියලු ජනයාට ඒ සැබෑ සංහිදියාවට තේරුම් කර දීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

සංවාදයට ලක්කළ හැක....  

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.