අප භාවිතා කරන ගල්අඟුරු හා ෆොසිල ඉන්ධන දහනය කර නිපදවූ බලශක්‌තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්‌ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්‌වමින් සිටී. එසේ ම අප රටේ ද පුනර්ජනනීය බලශක්‌තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ
ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම ද සිදු වෙයි. එහෙත් ඒවායෙන් අපේක්‌ෂිත අරමුණු ඉටු වනවා ද නැද්ද යන්න ගැටලුසහගත වන අතර එමගින් යහපත් අරමුණ අවභාවිතාවේ යොදවමින් ඇතැමුන් පරිසරය වනසමින් මඩි තර කරගන්නා ආකාරයක් ද දක්‌නට ලැබේ.
ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම ද සිදු වෙයි. එහෙත් ඒවායෙන් අපේක්‌ෂිත අරමුණු ඉටු වනවා ද නැද්ද යන්න ගැටලුසහගත වන අතර එමගින් යහපත් අරමුණ අවභාවිතාවේ යොදවමින් ඇතැමුන් පරිසරය වනසමින් මඩි තර කරගන්නා ආකාරයක් ද දක්‌නට ලැබේ.
සූර්ය විදුලිබල නිෂ්පාදනය ඉතා සරල තාක්‌ෂණයක් භාවිත කොට සිදු කරන්නක් වන අතර එහි දී සිලිකන්, බෝරෝන් වැනි ද්‍රව්‍ය භාවිත කර සකස් කරන ලද පැනලය මත සූර්ය කිරණ පතිත කළ විට විද්යුතය නිෂ්පාදනය වේ. නිෂ්පාදිත විද්යුතය පාලකයක් හරහා ගමන් කරවා බැටරියක් තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ. එහෙත් වසරේ දින තුන් සිය හැට පහේ ම පාහේ දිනයෙන් අඩකට මදක් අඩු කාල සීමාවක් පුරා ඉර පායන රටක් වුවත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බලධාරීන් දේශීය බලශක්‌ති අවශ්‍යතාව සපුරාගැනීම සඳහා හිරු එළිය දායක කරගැනීමට අතීතයේ සිට ම වැඩි උනන්දුවක් දැක්‌වූයේ නැත. සූර්ය බලශක්‌තිය පිළිබඳ තාක්‌ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුව ද එය මෙරට තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑතකාලීනව වීම ඊට කදිම නිදසුනකි. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත ව කලක සිට බලශක්‌ති මාධ්‍යමක් ලෙස සූර්ය විදුලි බලය භාවිතය යම්තාක් දුරකට හෝ ව්‍යප්ත වෙමින් පැවතුණේ ජාතික පද්ධතිය මගින් විදුලිය සපයාගැනීමේ තිබූ නොහැකියාව හේතුවෙනි. ඒ අතර වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිත ව ද මේ පිළිබඳ යම් උනන්දුවක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්‌නට හැකි ය. එහෙත් මෙතෙක් සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය අංශයේ මැදිහත් වීම පැවතුණේ ඉතා ම පහළ මට්‌ටමක වන අතර ඊට සම්පූර්ණයෙන් ම පාහේ දායකත්වය සපයන ලද්දේ පෞද්ගලික අංශය විසිනි. මේ අතර ආණ්‌ඩුවේ විදුලිබල බලධාරීන් වැඩි උනන්දුවක් දැක්‌වූයේ ඩීසල් බලාගාර මගින් හෝ කුඩා ජලවිදුලි බලාගාර මගින් හෝ උත්පාදනය කෙරෙන විදුලි බලය වැඩි මිලට මිල දී ගෙන විදුලි පාරිභෝගිකයාට ලබා දීමට පමණි. ඊට හේතුව එම පෞද්ගලික බලශක්‌ති ව්‍යාපාරිකයන් අදාළ බලධාරීන් සමග විශේෂ ඇගෑලුම්කමක් ඇති කරගැනීම දැයි විමසිය යුතු ය. එවැනි පසුබිමක් තුළ අලුත් ආණ්‌ඩුව "සූර්යබල සංග්‍රාමය" ආරම්භ කිරීම යම්කිසි ආකාරයක සතුටට කරුණකි.
වර්ෂ 2025 වන විට සූර්ය බලශක්‌තියෙන් රටේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 1000ක විදුලි සැපයුමක් එක් කිරීමට ව්‍යාපෘතිය මගින් අපේක්‌ෂා කරන අතර එම ඉලක්‌කය වෙත යැමේ පළමු පියවර වශයෙන් දකුණු, නැෙගනහිර හා උතුරු පළාත්වල සූර්ය බල උද්‍යාන පිහිටුවීමට යෝජනා කෙරේ. ඒ යටතේ පළමු සූර්ය බල උද්‍යානය සියඹලාණ්‌ඩුවේ ඇතිමලේ ප්‍රදේශයේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර එහි ධාරිතාව මෙගාවොට් 100කි. දෙවැනි පියවර වන්නේ රජයේ මුදල් වැය නො කර මහජනතාව ගේ මුදලින් සූර්ය බලය උත්පාදනය කිරීම ය. මේ පියවරේ දී විදුලි පාරිභෝගිකයන් ගේ වහලය මත සවි කරන ලද සූර්ය පැනල මගින් 2020 වන විට මෙගා වොට් 200ක සහ 2025 වන විට මෙගාවොට් 1000ක විදුලි බලයක් උත්පාදනය කරගැනීමේ ඉලක්‌කය වෙත යැමට ආණ්‌ඩුව සැලසුම් කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සවි කර ඇති සූයකෝෂ මගින් උත්පාදනය කරන විදුලිබල ධාරිතාව මෙගා වොට් 30ක් පමණ වේ. ඊට දායක වී සිටින විදුලි පාරිභෝගිකයන් ගණන හාර දහසක් පමණ ය. නව ව්‍යාපෘතියෙන් එම ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන අතර විදුලිබල මණ්‌ඩලය මගින් නිපදවන විදුලිය කිලෝ වොට් පැය එකක් රුපියල් 22 බැගින් මිල දී ගැනීමට නියමිත ය. ඒ සඳහා මෙතෙක් පැවැති මිල දී ගැනීම් ක්‍රමවේදයට අමතරව නව ක්‍රම දෙකක් ද හඳුන්වා දී තිබේ. මේ රු. 22න් සූර්ය පැනල මිල දී ගැනීමට වැය වන මුදල පියවාගෙන අමතර මුදලක් ද උපයාගත හැකි ය.
එහෙත් කණගාටුවට කරුණ වන්නේ මහත් උත්කෂර්යෙන් ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය තුළ ද අපැහැදිලි තැන් රැසක් පැවතීම හේතුවෙන් එය ද සුදු අලියකු බවට පත් වීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. සූර්ය කෝෂ නිපදවීමේ තාක්‌ෂණය අපේ රට තුළ නොමැති බැවින් අපට සිදු වන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීමට ය. සාමාන්‍ය ගෘහස්‌ථ අවශ්‍යතා ඉටු කරන එවැනි ආනයනික සූර්ය විදුලි පද්ධතියක පවා මිල අති විශාල බැවින් ඒවා මිල දී ගැනීම පොදු මහජනතාවට පහසු කටයුත්තක් නො වේ. එවැනි පසුබිමක ජාතික පද්ධතියට විදුලිය ලබා දීමට තරම් සමත් සූර්ය පැනලයක් මිල දී ගැනීමට ඔවුනට ඇති හැකියාව පිළිබඳව කතා කරන්නට දෙයක් නැත. එබැවින් සූර්ය පැනල ආනයනයේ දී පැනවෙන බදු අඩු කිරීම සිදු කළ යුතු ය. එසේ ම මේ සූර්යබල සංග්‍රාමය ජනතාව අතරට ගෙන යැම සඳහා බැංකු හා වෙනත් මුල්‍ය ආයතන මගින් ණය ක්‍රමවේදයක් ඇරඹීම ද කාලීන අවශ්‍යතාවකි. එහෙත් මේ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට ප්‍රථම එම අවශ්‍යතා ඉටු කිරීමට බලධාරීන් සමත් වී නැත. නොඑසේ නම් ඊට බලධාරීන්ට වුවමනාවක් නැත. එවැනි පසුබිමක් තුළ මෙය ද තවත් ඊනියා ව්‍යවපෘතියක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි නමුත් අප එය එසේ නො වේ වායි ඉත සිතින් පතමු.
බලශක්ති අර්බුධය ජයගැනීමට නම් මිනිස් වර්ගයා මෙල්ල කල යුතුමය..
ReplyDelete