Monday, December 2, 2019

නව බදු වලින් ඔබට වාසි ලැබෙන්නේ මෙහෙමයි..

නව රජයේ නව ආදායම් බදු සංශෝධන මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ මාසික වේතන ලබන සේවකයින්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. බොහෝ ආයතනවල වසර අවසාන ප්‍රසාද දීමනා ආදිය ලබා දීමක් සිදුවන බැවින් මෙම දෙසැම්බර් මාසයේ දී තමන් මාසිකව ලබන වැටුපට වඩා කිහිප ගුණයක වැටුපක් අතට ගැනීමට බොහෝ ආයතනවල සේවකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද නව ආදායම් බදු සංශෝධන ප්‍රකාරව දෙසැම්බර් මාසයේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ඇතුළත්ව ලබන වැටුප, උපයන විට ගෙවීමේ බදු (PAYE) සඳහා යටත්
වන්නේ ද නැද්ද යන්න පිළිබඳව විමසිලිමත් වීමට ඔවුන් මේ වන විට යොමු වී සිටී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව උපයන විට බද්ද (PAYE), ආදායම් බදු වෙත පරිවර්තනය වීම බලාත්මක වන්නේ 2020 ජනවාරි 01 දින සිටය. 2019 දෙසැම්බර් මාසය සම්බන්ධයෙන් එහි සඳහනක් නොවන බැවින් බොහෝ විට උපයන විට ගෙවීමේ බදු මෙම දෙසැම්බර් මාසයට ද අදාළ වනු ඇත. අනෙක් අතට බොහෝ සමාගම් කාර්තුමය පදනම මත මෙම උපයන විට බදු ගෙවීම් ගළපනු ලබන බැවින් 2019 දෙසැම්බර් කාර්තුව අවසන් වීමට මාසයක් ඉතිරිව තිබිය දී මෙම ගණනය කිරීම් හි වෙනස්කම් සිදුකිරීම ඇතැම් විට තාක්ෂණික අපහසුතා මතුකළ හැකි තත්ත්වයක් වේ.
කැබිනට් අනුමැතිය යටතේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව හඳුන්වා දෙන ලද ආදායම් බදු යෝජනා ක්‍රියාත්මක වන දින සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති අදාළ නිවේදනය පහතින් දැක්වේ.
  1. 2019/2020 තක්සේරු වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි කෘෂිකර්මාන්තය, ධීවර හා පශු සම්පත් කර්මාන්තය ආදායම් බදුවලින් නිදහස් කෙරේ.
  2. 2019/2020 තක්සේරු වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි 28% සිට 14% දක්වා ඉදිකිරීම් කර්මාන්තයට අදාළ වන ආදායම් බදු අනුපාතය අඩු කෙරේ.
  3. 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික ආයතන ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ.
  4. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා ආදායමේ උපයන විට බදු (PAYE) ගෙවීමේ සීමාව රු. 100,000 සිට රු. 250,000 ක් දක්වා ඉහළ දමන අතර එය ඉක්මවා උපයන සෑම රු. 250,000කටම 06%, 12% සහ 18% බැගින් වන පරිදි 2020 ජනවාරි 01 සිට ආදායම් බද්දට යටත් වේ.
  5. 2020 ජනවාරි 01 දින සිට මසකට රු. 250,000 ක් දක්වා වන පොළී ආදායම්, රඳවා ගැනීමේ බද්දෙන් (WHT) නිදහස් වේ.
  6. 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයෙකු ඕනෑම ප්‍රභවයකින් වාර්ෂිකව ලබන ආදායම රු. 3,000,000 ක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් වන අතර එතැන් සිට සෑම රු. 250,000 ක් සඳහාම ක්‍රමිකව වැඩිවෙන 06%, 12% හා 18% ලෙසින් අදායම් බදු අය කෙරේ.
  7. 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි සේවා ලබා දීමෙන් ලබන විදේශ විනිමය, ආදායම් බද්දෙන් නිදහස් වේ.
  8. 2019/2020 තක්සේරු වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි තොරතුරු තාක්‍ෂණය හා බලදායී සේවාවන්ගෙන් ලැබෙන ආදායම, සියලු බදු වලින් නිදහස් කර ඇත.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.
Secretariat - Tel: 011 - 2135412, 011 - 2135413, 011 - 2135411
Deputy Commissioner General – Tax Policy - Tel: 011-2135402

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.